Thursday, July 26, 2012

නිදහස් අධ්‍යාපනයේ සැබෑ පියා SB දිසානායකය

නිදහස් චතුරස්‍රය ආසන්නයේ මහත් කාලගෝට්ටියකි. එක්පසෙක ප්‍රතිමාව ක් විවෘත කිරීම සඳහා සූදානමක් පවතී. පොලිස්  හා හමුදා ආරක්ෂාව එයට නොමදව ලැබී ඇත. අනෙක්පස විශ්වවිද්‍යාල සිසුන් මහ හඬින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වෙති. පොලීසිය  බැරැක්ක දමා ඔවුන් වලකාලමින් සිටී. අනෙක් අන්තයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා පාසල් ගුරු භවතුන් උඩබිම බලමින් නිශ්ශබ්දතාව රකිමින් අතේ පයේ ඇඟිලිවල නියපොතු හපමින්,බුලත්විට චුයින්ගම් හපමින් සිටිති.

   එවිට මහා සංගීත හා අත්පොලසන් නාදයක්  දක්විමින් සුඛෝපභෝගී බස් රථයකින් පැමිණියේ සිසුන් කණ්ඩායමකි. අව්කණ්ණාඩි, කෝඩ් සපත්තු දමාගෙන එලොවින් බසින්නට මෙන් උත්සව භූමියට පැමිණ එහෙ මෙහෙ බලන්නට විය.


“ඒ මොකුන්ද...“ මාධ්‍ය වේදියෙක් තවත් අයෙක්ගෙන් ඇසීය.

“ඒ ඉංග්‍රීසි අකුරු කීපයක් තියන පුද්ගලික විශ්වවිද්‍යාලයේ ළමයි...හරි පොෂ්...පේනවනේ...“

මාධ්‍යවේදියා කට වසාගත්හ.

සුළු මොහොතකින් ආරක්ෂාව මධ්‍යයේ ඉංග්‍රීසි අකුරු කීපයේ පුද්ගලික විශ්වවිද්‍යාල ලමයි සහ පුද්ගලික අධ්‍යාපන ආයතනවල ළමයි දහස් ගණනක් ප්‍රතිමාව විවෘත කරන තැනට රොක්විය. ඔවුන්ගේ ඕපාදූප සහ සාදතෙපුල් හඬට රජයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සටන්පාට නෑසි යන්නට විය.

“කපා කපා- කෑලි කපා- අප වලකනු......“

එය නෑසි  ගියහ. අධික ශබ්දයකින් වැඩසටහන ඇරඹීය. රජයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ උත්සහය වූ වැඩසටහන නවතා දැමීම ව්‍යර්ථ විය. රටේ නම දිනූ කලාකරුවෙක් උත්සව සභාව ඇරඹීය.

“කන්නන්ගර මහත්තයා අතීතයේ වැලතලාවෙන් වැසීගොස් අවසන්..ඔහුගේ සංකල්පවලට අපි ගරු කරනවා..නමුත් තවදුරටත් ඔහු අපේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස පිලිගන්නට අමාරුයි..අපිට අවශ්‍ය නූතන යුගයේ වීරයන්..ඒ නිසා අද අපි මේ උත්සවය පවත්වන්නේ අපේ සැබෑ නිදහස් අධ්‍යාපනයේ පිය එස්.බී. දිසානායක මැතිතුමා නොහොත් මහා එස්.බී මැතිඳාණන්ගේ ප්‍රතිමාව ජාතිය වෙනුවෙන්..සමස්තා ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් විවෘත කිරීමටයි...“

හුරේ...කමොන්..කමෝන්...

ඉංග්‍රීසි අකුරු කීපයේ පුද්ගලික විශ්වවිද්‍යාලවල ගැටිස්සියන් සහ පුද්ගලික අධ්‍යාපන ආයතනවල ගැටිස්සියන් කොල්ලන්ගේ කරේ නැග කෑ ගසන්නටත් විසිල් ගහන්නටත් විය. ඊලගට ප්‍රධාන කතාව කලේ එවකට ලොක්කාගේ ගෝලයෙකි.

“ඒ බං ලොක්කා ඇවිත් නැත්තේ ඇයි...“

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් තවත් එකෙක්ගෙන් ඇසීය.

“මිනිහා බයයි මෙතන හූ කියලා ගල් ගහලා මිනිහව නෝන්ඩ් කරයි කියලා...ඒකයි“

ඒ අතර ලොක්කාගේ ගෝලයා කතාව ආරම්භ කලහ.

“ඇත්තම කියනවනම් එස්.බී කියන්නේ මහා නිර්මාණකරුවෙක්...එදා රජයේ විභාග ඉහලින්ම සමත්වෙලා මහා සාමාර්ථ අරගෙන සරසවි හා උසස් අධ්‍යාපන වරම් අරගෙන් රටේ අනිත් එවුන්ට කොකා පෙන්නපු..විශ්වවිද්‍යාලවට රිංගගෙන රටේ ජනමතය වෙනස්කරන්න හදපු...සල්ලි ති යන අපි වගේ එවුන්ට හැමදාම වෛරකරපු..පිටරට උපාධිවලට කෙලගහපු..පුද්ගලික විශ්වවිද්‍යාලවලට වල කපපු අමනයන් සහ දේශද්‍රෝහීන් රැලක් හිටපු කාලෙක මේ වීරයා සත පහක ලාභයක් ගැන නොහිතා..තමන්ගේ බඩවියත ගැනවත් නොහිතා..බොහොම ඉවසීමෙන් කිසිම වැරැද්දක් නොකර රටේ ඕනෑම එකෙක්ට සල්ලි තියනම් උපාධියක් ගන්න පුළුවන් බොහොම ලේසි පහසු තත්වයකට පත්කරන්න එස්.බී මැතිඳාණන් මහා වෙහෙසක් ගත්තා..ඒ කටයුත්ත ඉෂ්ට කරලා අද රටේ පඳුරක් පඳුරක් ගාණේ පුද්ගලික අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල හදලා මේ රට නියම සුරපුරයක් කරලා අඩුම මුදලකට ඉක්මණින්ම උපාධියක් ගණ්න පුළුවන් තත්වෙට පත්කරලා තිබීම කොච්චර අගනේද..මමත් ඊයේ උපාධියක් ගත්තා..මට ඉස්කෝලේ අටේ පන්තිය පහුකරන්න එවකට අමන අධ්‍යාපන ක්‍රමය ඉඩ නොදුන්නට මේ නව අධ්‍යාපන ක්‍රමය මාව උපාධිධාරියෙක් කලා...එය කොතරම් ආශ්චර්යයක්ද...ඒකයි මොහුට අපි සැබෑ නිදහස් අධ්‍යාපනයේ පියා කියා කිව යුත්තේ...“

කන් බිහිරිකරවන  අත්පොලසන් නාදයත් සමග ප්‍රතිමාව විවෘත විය. එස්.බී නිදහස් චතුරස්‍රය දෙස විරිත්තමින් බලා සිටියදී උත්සව සභාව අවසන්විය. ඉන්පසු මහා ඩී.ජේ ප්‍රසංගයක් ආරම්භවිය. විශ්වවිද්‍යාල සිසුන් මුරකපොලුවලට එහා දියපොදක් නැතිව බලා හිටිද්දි, රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උඩබලාගෙන හිටිද්දී පුද්ගලික විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතනවල සිසු සිසුවියන් ගුරුවරුන්ද සමග තරඟයට හිපොප් නටන්නට විය..

“ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා- බල්ලෝ මරා  හරි සල්ලි හොයමු අපි - හා...ඉන්න ටිකේ....“

1 comment:

  1. වත්මන් ඉසෙඩ් කතාවට..අධ්‍යාපන අමාත්‍යාංශ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ හා ආදාල ආයතන වල නිලධාරීන්...
    කැබිනට් මන්ඩලය...
    රජයේ වෙනත් වගකිව යුත්තන් සියල්ල ..
    සිටියදී පේන්නේ එස් බී හා බන්දුල පමණයි..මොකද
    එස් බී බන්දුල යූ ඇන් පී එකෙන් පැන්න නිසා තවදුරටත් යූ ඇන් පී කාරයො නෙමෙයි...
    පස්සෙ ඇවිත් ආන්ඩුවට හේත්තු වෙච්චි නිසා නිල්පාට පක්ෂෙ කෙනෙකුත් නෙමෙයි...
    ඔය දෙපැත්තටම නැති උනත් ජේවිපිත් නෙමෙයි...

    ඉතින් කිසිදු දේශපාලන පැත්තකට අයිති නැති නිසා ඔය හැමෝටම එකතු වෙලා ලස්සනට ගල් ගහන්න පුලුවං ඔය ඩබලට....ඒ නිසා මේ කේස් වලිං එස් බී නානවා...

    දැං ඔය එක පස්නයක් වත් ජනාධිපතිතුමා දන්නෙ නැද්ද?
    .

    ReplyDelete