Friday, August 3, 2012

Facebook යනු ඔබේ හොටු ලේන්සුව නොවේ..


සමාජයක් යනු විවිධ පුද්ගලයන්ගෙන්,අදහස් හා මතවාදවලින් සහ භෞතික වස්තූන් සමූහයක එකතුවක් නොඑසේනම් ඒවායින් සැදුම්ලත් ස්ථරයක් වේ. සමාජ ජාලයක් යනු එවැනි සමූහයක් හෝ ස්ථරයක් මත ජීවත්වන විවිධ පුද්ගලයන් විවිධාකාර මාධ්‍යයන් උපයෝගීකරගැනීමකි. එවැනි උපයෝජනයකින් බිහිවන්නේ “සමාජ ජාලයක්“ නැමති සංකල්පයකි. මෙම සමාජ ජාල ක්‍රමවත් ආකාරයට(Formal Methods) මෙන්ම අක්‍රමවත් ආකාරයට(Informal Methods) ද නිර්මාණය වේ.

Facebook යන සමාජ ජාලය බිහිවන්නේ ලෝකයේ අන්තර්ජාලය යොවුන් අවධිය පසුකරන විටය. එම සමයේ බොහොමයක් අන්තර්ජාලය සම්බන්ධ නව නිර්මාණ බිහිවුණ සමයකි. මාර්ක් සකර්බර්ග් නැමති පුද්ගලයා ස්වකීය සංකල්පනාත්මක හැකියාව කුසලතාව හා මානසික තත්වය යන සාධක ඒකරාශී කරමින් අහඹුවක් මෙන් බිහිකල Facebook සමාජ ජාලය වර්තමානයේ ලෝකයේ නිම්වලලු පුළුල් කල මෙන්ම මානව සීමාවන් තරණය කල පුළුල් සමාජ ජාලයකි. අද Facebook යයි පැවසූ විට නොදන්නා අයෙක් නැති තරම්ය. එසේම ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසක් Facebook භාවිතා කරති. පැනය වනුයේ Facebook යනු සැබෑවටම ඔබේ හොටු ලේන්සුවද යන්නයි.


   ඔබ Facebook භාවිතා කරන්නෙක් නම් ඔබට ඔබගේ මිතුරු සමාජය සමග හැසිරෙන විට දිනපතා මොහොතක් මොහොතක් පාසා වැඩි වශයෙන් දැකගත හැකිවෙන්නේ Facebook පරිශීලකයන් ස්වකීය දුක්ඛ පාර්ශවීය අත්දැකීම් කිසිඳු හිරිකිතයකින් තොරව සහ දෙවරක් නොසිතා ලොවටම ප්‍රසිද්ධ කරන ආකාරයයි. පුද්ගලාභිමුකව චින්තනය බිහිකිරීමේදී සහ ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලෝකයට අනාවරණය කල යුතු හැඟීම් මෙන්ම නොකල යුතු ඒවාද එමටය. එය තීරණය වන්නේ සමාජ සාරධර්ම සහ සිරිත් විරිත් ආශ්‍රිතවය. අතීතයේනම් බටහිර ජාතීන්ට වඩා ආසියාතිකයන් ලැජ්ජා බය සහ පුද්ගල ප්‍රතිරූපය ගැන සිතා කටයුතු කලහ. නමුත් වර්තමානයේ එය කණපිට පෙරලී ඇත.

  බොහොමයක් Facebook පරිශීලකයන් එය භාවිතා කරන්නේ හිතේ කියාගන්න බැරි දුකක් ඇතිවිට හොටු ලේන්සුව පරිද්දෙන් භාවිතයට What's on your mind? යන පොදු පැනයට හිතේ තියන හැම මගුලක්ම කියා දමමින්ය. සමහර විට ඒ කියන කාරණා අනාගතයේදී තමන්ටම පාරාවලල්ලක් විය හැකි කාරණා විය හැකි බැවින්ය. එසේම Facebook ගිණුම පිටුපස සිටින ඔබගේ පෞර්ශ්‍යත්වය සහ චින්තන පරාසය ඔබේ ජාලගත මිතුරන් මනින්නේද ඔබ Facebook මත සිට කරනා දේ අනුවය. නමුත් බහුතරයක් පරිශීලකයන්ට Facebook යනු හුදෙක් හොටු ලේන්සුවක් පමණි. උදේ පාන්දර “සුබ උදෑසනක්“ කියනවා වෙනුවට “අදනම් මහ කාළකණ්ණි දවසක්“ කියන අතිබහුතරයක් ඇත.  එසේම “මට දුකයි..“ මම තනියම, මට කව්රුවත්ම නෑ..මෙවන් වූ ප්‍රකාශන මගින් බලාපොරොත්තුවෙන පුද්ගල පරමාර්ථ සෘජු මෙන්ම වක්‍රාකාරද වේ.

  නමුත් සම්මත සමාජ ජාලයක වගකීම හා ක්‍රමවේදීය විය යුත්තේ පුද්ගලයන් අතර හර සබඳතාවක් බිහිකිරීම සහ ඔවුන්ගේ අගයන්(Values) හුවමාරු කිරීම සහ දුර්වලතාවයන් (Weaknesses) එමගින් නිවැරදි කරගැනීමයි. සර්ව සුබවාදී කෝණයකින් පැවතිය යුතු සමාජ ජාල වෙනුවට කදුළු වගුරන සහ අසික්කිත චින්තනයන් පිරී ඉතිරී යන ඩිජිටල් මඩගොහොරුවක්  බවට සමාජ ජාල ඇදවැටීමට මෙය හොටු ලේන්සුවක් බවට පරිවර්තනය කරගන්නා පරිශීලකයාගේ සිට කාම මිත්‍යාචාරය පතුරන පරිශීලකයා දක්වා දිගුවෙයි. ගෙයි ගිනි පිටට දෙන සහ පිට ගිනි ගෙට ගන්නා තැනක් බවට Facebook පත්ව නැද්ද යන්න ඔබම සිතා බලන්න.

   එසේම හැමදාම නහයෙන් අඬන සහ හොටු ලේන්සුව තෙත් කරන්නෙක් ලෙස ඔබ සමාජ ජාලය තුල හැසිරෙනවානම් පොදු සමාජයේ ඔබගේ චරිතය පිළිබඳව කෙසේ පැහැදෙන්නද. එසේනම් Facebook යනු ඔබගේ හොටු ලේන්සුව නොවන බවටත් එය වැදගත් දේ සහ ජීවිතානුබද්ධ අගයන් හුවමාරු කරගන්නා මාධ්‍යයක් බවට පත්කරගන්න. එසේම නොදන්නා ඩිජිටල් මිතුරන්ට හදවතේ අන්තිම අඟල දක්වා විවෘත කරනවා වෙනුවට ලඟපාත සැබෑ ලෙසම දුක සැප දෙකට ඉන්නා මිතුරු මිතුරියන් හා ඥාතීන් සමග ජීවිතයේ කඳුළු බෙදාගන්න. එවිට Facebook මෙන්ම ඔබද සැබෑ සමාජ ජාලා පරිශීලකයෙක් ලෙස යහපත් වනු ඇත. මෙම කරුණ හදවතට ඇතුල් කර විමසා බලන්න. එවිට ඔබ මේ හොටු ලේන්සුවේ කොණක් හෝ දරා සිටීනම් එය අතැර දමනු ඇත.

1 comment:

  1. මේ අදහස නම් සම්පුර්ණ ඇත්ත , මොකද සමහර වෙලාවට ෆේසබුක් එක , මළ ගෙදරක් වගේ , නැත්නම් අඳෝනාවක් වගේ ...වැදගත්මදේ අද බොහෝ රැකියා සම්මුඛ පරික්ෂණ වලට පෙර අදාල අයදුම්කරුවන්ගේ ෆේස්බුක් ගිණුම් ගැන සොයා බලන්නට කළමණාකාරීත්වයන් පෙළඹිලා තිබෙනවා , එවන් අවස්ථාවක මේ වගේ අඳෝනාවක් ඇති ලැබෙන්නට තිබෙන රැකියාව නොලැබී යන්නටම ,
    පලක් ගත හැකි දේ අපල කර ගන්නේ අපිමයි ..
    ස්තුතියි ඔබට

    ReplyDelete